Wednesday, April 9, 2014

ශ්‍රීපාද අඩවියේ අවසානයද මේ?-sipadaya sri lanka(the sirlankan heritage and tourist place)

වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත ඇතුළු පරිසර පනත්වලට පටහැනිව යමින් සමනල කන්ද ස්වභාව රක්ෂිතයට අයත් ශ්‍රී පාද අඩවියේ තෝරා ගත් භූමි ප්‍රදේශයක් පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටත්, එම භූමිය විශේෂ සංරක්ෂණ විධිවිධාන යොදා ගනිමින් සංවර්ධනය කිරීමටත් ආණ්ඩුව ගෙන ඇති තීරණයට පරිසරවේදීහු දැඩි විරෝධය දක්වති. මීට අදාළ කෙටුම්පත කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සැලැසුම් කර ඇති ආකාරයට මේ යටතේ නල්ලතන්නිය හරහා ශ්‍රී පාදයට යන මාර්ගය ප්‍රදේශයෙන් පමණක් වර්ග මීටර් හාර ලක්ෂ අසූ දහසකට වැඩි රක්ෂිත භූමි ප්‍රමාණයක් අදාළ පූජා භූමිය සඳහා පවරා ගැනීමට නියමිතය. මෙලෙස ශ්‍රී පාදය වෙත යෑමට ඇති ප්‍රධාන මාර්ග තුනේම මාර්ගය මැද සිට මීටර් 30 බැගින් මීටර් 60ක් පවරා ගැනීමට අදාළ කෙටුම්පත මඟින් යෝජනා කර ඇත. එහි වැඩිදුරටත් සඳහන් වන ආකාරයට මේ පූජා භූමිය සඳහා පවරා ගන්නා වර්ග මීටර් ලක්ෂ ගණනක භූමි ප්‍රමාණය අත්හැර, ඉතිරි කඳු බෑවුම් සහිත වනාන්තර ප්‍රදේශය පමණක් ඉදිරියේදී වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ රක්ෂිතයක් ලෙස පවත්වාගෙන යෑමට නියමිතය.

පරිසරවේදීන් පෙන්වා දෙන ආකාරයට මේ කෙටුම්පත ක්‍රියාත්මක වුවහොත්, සමනල කන්ද ස්වාභාවික රක්ෂිතයේ සංචාරකයන් සඳහා විවිධ ඉදිකිරීම් කිරීම ආරම්භ වේ. එමඟින් ප්‍රධාන ගංගා සහ ජල උල්පත් රාශියක් ආරම්භ වන සුවිශේෂී ජල පෝෂිත ප්‍රදේශයක් වන සමනල කන්ද රක්ෂිතයට දැඩි
තර්ජනයක් එල්ල වන අතර එහි ජෛව විවිධත්වයටද බලපෑම් ඇති වේ. එම නිසා මේ කලාපය පවතින ආකාරයෙන්ම සංරක්ෂණය කර පාරිසරික සංවේදී කලාපයක් ලෙස ඉදිරියට පවත්වා ගෙන යෑමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පරිසරවේදීහු වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මේ ප්‍රදේශයේ දැනට ස්ථිර අනුමතය ලත් ගොඩනැඟිලි නොමැති අතර, රක්ෂිතයේ වෙනත් ස්ථානවල නීති විරෝධී ලෙස එවැනි ගොඩනැඟිලි ඉදිකර ඇති බවත් ඊට ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයන්ගේ සහාය ලැබී ඇති බවත් 'මව්බිම' මීට පෙර හෙළිදරව් කෙළේය.

ශාලික විමලසේන, රංග එස්.උඩුගම
MAWBIMA - Page 1 - 06-04-2014


http://www.mawbima.lk/86-55251-news-detail.html

http://www.mawbima.lk/thumb/epaper-images/29963.jpg

No comments:

Post a Comment

ෆෙස්බුක් දිනපොත © 2014. All Rights Reserved | Powered by:Blogger

Designed by:Windroidclub